1st Month of Your Baby in Sinhala

ඔයාලා දැක්ක හීනය අද හැබෑ වෙලා ඔයාලා බලාපොරොත්තු උන තෑග්ග ඔයාලගෙ අතටම ලැබිලා තියෙනවා.මං ඔයාලට සුභ පතනවා.දැන් වගකීම් ගොඩකුත් තියෙනවා.ඒ වගකීම් ඉටු කරන කොට දැන ගෙන ඉන්න ඕනි මොනවද කියලා බලමු.සෞඛ්‍යය හා වර්ධනය පිළිබදව මාසෙන් මාසයට දැනුවත් වෙන්න ඕනි මොනවද කියලා අපි එකින් එක කතා කරනවා.

මුලින්ම කතා කරමු බබාගෙ සාමාන්‍ය සෞඛ්‍යය ගැන මොනවද දැන ගන්න ඕනි කියලා.බබාගෙ බාහිර ස්වරෑපය ගත්තොත් එහෙම බබාගෙ නහය ගොඩක් උල් නැති වෙන්න පුළුවන්.ඒ වගේම බබාගෙ ඔළුව රවුම් ලස්සන ඔළුවක් නොවෙන්න පුළුවන්.මේ වගේ එක එක වෙනස්කම් ගන්න පුළුවන්.මේ කිසිම දෙයක් අස්වාභාවික කමක් නෙවෙයි.මොකද බබා උපත් මාර්ගයේ තෙරපීමට ලක් වෙලා තමයි එළියට එන්නෙ.මේ තෙරපීමත් එක්ක එක එක වෙනස්කම් වෙන්න පුළුවන්.මේ වෙනස්කම් තව ටික දවසක් යද්දි වෙනස් වෙනවා.මේ ගැන බය වෙන්න එපා.

ඊලගට දරැවගෙ පංච ඉන්ද්‍රියයන් ගැන බලමු.පෙනීම ගත්තොත් දරැවට වට පිට බොදවෙලා තමයි පේන්නෙ.බබාට පේන්නේ එයාගෙ අතේ දුරින් තියෙන කිසියම් වස්තුවක් පමණයි.බබාගෙ ඇසීම ගැන ගත්තොත් බබාට මීට මාස කිහිපයක සිටම බබාගෙ අම්මගෙ තාත්තගෙ කටහඩ ඇහෙන්න ගත්තා.ඒ නිසා මේ දරැවට අම්මගෙ තාත්තගෙ කටහඬ හොදට අදුන ගන්න පුළුවන්.බබාගෙ රස දැනීම ගැන ගත්තොත් සෑහෙන්න දුරට දියුණු මට්ටමක තියෙනවා.බබාට පැණි රස හා තිත්ත රස අතර වෙනස අදුර ගන්න පුළුවන්.මේ නිසාම පැණිරස මව් කිරි වලට මෙයාලා ගොඩක් කැමති.ගද සුවද ගැන කතා කොලොත් දරැවට අම්මගෙ සුවද ඒ කියන්නෙ කිරි සුවද හොදට අදුර ගන්න පුළුවන්.ස්පර්ශය ගැන කතා කලොත් හොදට ස්පර්ශය කියන එක තේරෙනවා.දරැවව ආදරෙන් අල්ලනවා නම් මේ කාලෙදි ඒක ගොඩක් වැදගත්.අම්මට දරැවත් එක්ක බැදීමක් ඇති කර ගන්න පුළුවන් මේ ආදරණීය ස්පර්ශයෙන්.

දරැවා ඉපදුනාට පස්සෙ දවස් 5ක් වගේ යනකන් ඒ අයගෙ බර උපත් බරට වඩා අඩුවෙනවා.හේතුව තමයි දරැවා ඉපදුනාට පස්සෙ අනවශ්‍ය තරල ශරීරයෙන් ඉවත් වෙනවත් එක්කම බබාගෙ බර අඩු වෙනවා.ඉපදිලා සති 2 වගේ යද්දි උපත් බර ඉක්මවලා බබාගෙ බර වැඩි වෙන්න පටන් ගන්නවා.

බබාගෙ නින්ද ගැන කතාකලොත් පැය 14-17 අතර ප්‍රමාණයක් මේ කාලයේදි බබෙක් නිදා ගන්නවා.සමහරවිට ඔයාගෙ බබා පැය 14ට අඩුවෙන් නිදා ගන්නවා හෝ සමහරවිට පැය 17ට වැඩියෙන් නිදාගන්නවා වෙන්න පුළුවන්.ඒකෙ කිසිම වැරැද්දක් නෑ.මේ කාලෙදි බබාට බොහොම සැප පහසුවට නිදා ගන්න අවස්ථාව දෙන්න.කිසිම කොට්ටයක් තියන්න එපා.සැප පහසු මෙට්ටයක්ම දෙන්න.ගෙදර සුරතල් සතුන් ඉන්නව නම් බබාලා නිදාගෙන ඉද්දි එයාලට ලං වෙන්න දෙන්නෙපා.

බබාගෙ පළවෙනි මාසෙදි වැදගත් වන තව දෙයක් තමයි අඩන එක.බබා අඩන් නැතිව ඉන්නවට වඩා අඩන එකෙන් කියන්න පුළුවන් දරැවා ගොඩක් සෞඛ්‍යය සම්පන්නයි.නිරෝගී කියලා.බබා ගොඩක් හයියෙන් අඩනව නම් ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන්.බබා හයියෙන් අඩන වෙලාවට හේතුව මොකක්ද කියලා හොයලා ඒක ඉවත් කරන්න.

පළවෙනි මාසය ඇතුලත වැදගත් දෙයක් තමයි පෙකණි වැල ඉවත්වීම.අපි දන්නවා කලලයක් මවට සම්බන්ධ වෙන්නෙ පෙකණි වැලෙන්.දරැ උපතකදි කරන්නෙ පෙකණි වැල දෙපැත්තෙන් ගැට ගහලා මැදින් කපන එක.මෙහෙම කරද්දි පෙකණි වැලේ යම් ප්‍රමාණයක් බබාගෙ ඇගේ ඇලිලා තියෙනව.ඉතිරි උන ප්‍රමාණය බබා ඉපදිලා සතියක් දෙකක් යද්දි ඉබේම හැලිලා යනවා.ඒකට ඔයාලා අමුතුවෙන් මොකුත් කරන්න ඕනි නෑ.මේ විදිහට පෙකණි වැල ඉවත් උනාට පස්සෙ එතනින් අමුතු දුර් ගන්ධයක් එනව නම් ,එතන තවම විවෘතයි වියළි නෑ කියල තේරෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයකු හමුවෙන්න.

පළමු මාසය ආවසානයේදි දරැවගෙ සංවර්ධනයේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ.ළමා සෞඛ්‍යය හා සංවර්ධන සටහන ගත්තාමත් පේනවා මාස 2 ඉදලා තමා මේ දර්ශක පටන් අරගෙන තියෙන්නෙ.කොහොම වුනත් දරැවගෙ පෙනීමෙදි හා ඇසීමේදි බලා ගන්න පුළුවන් මේ සම්බන්ධව.සටහනේ තියෙන විදිහටම මාස 1 අවසානයේදි දරැවට ආලෝකය දෙසට ඇස් යොමු කරන්න වගේම අම්මගෙ තාත්තගෙ මූණ දිහා බලාගෙන ඉන්න සාමාන්‍යයෙන් පුළුවන් වෙනවා.ඇසීම ගැන ගත්තොත් එහෙම එක දිගටම තියෙන ශබ්දයකට සවන් දෙන්න බබාට හැකියාව ලැබිලා තියෙනවා.ඊට අමතරව බබාව මුණින් අතට තිබ්බට පස්සෙ යම් තාක් දුරකට එයාගෙ ඔළුව උස්සන්න හැකියාවක් ලැබෙනවා.කොහොම උනත් සම්පූර්ණයෙන්ම ඔළුව උස්සලා බලන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.ඊට අමතරව හොදට යුහුසුළුව මව් කිරි උරා බීමේ හැකියාවක් දරැවට ලැබිලා තියෙනවා.මේ ළමා සෞඛ්‍යය හා සටහනේ දර්ශක කියන දේ ගැන ඔයාලා දැන ගන්න ඕනි දේ තමයි මේ දර්ශක වල තියෙන දින ප්‍රමාණයන් වලට හෝ පසුව හෝ කලින් ඔබේ දරැවා මේ දේවල් පෙන්වන්න පුළුවන්.දරැවා මේ දේවල් මාස ගානනක් යනතුරු පෙන්වන්නේ නැත්නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයකු හමුවන්න.

පෝෂණය ගැන කතා කළොත් දරැවට මාස 6ක් යනකන් මව්කිරි විතරයි ලබා දෙන්නෙ.පළවෙනි මාසෙදි පැය 2-3කට සැරයක් දරැවට මව් කිරි ලබා දෙන්න පුළුවන්.ඒ විදිහට දවසට 8 වතාවක් දරැවට මව් කිරි ලබා දෙන්න.මේ කාල සීමාවන් හිතේ තියාගෙන බබා මව්කිරි ඉල්ලලා අඩද්දි නැත්නම් එයාගෙ බඩගින්න මොන විදිහකින් හරි ප්‍රකාශ කරද්දි මව් කිරි ලබා දෙන්න.ඉතිං මේ විදිහට බබා ඉල්ලද්දි මව් කිරි ලබා දෙන විදිහට බබාට හුරැ කරන එක අම්මට කරන්න පුළුවන්.සාමාන්‍යයෙන් බබා දවසට 6-8 වතාවක් මුත්‍රා කරනවා නම් ,මාසිකව බබාගෙ බර 500g වැඩි වෙනවා නම් අපිට කියන්න පුළුවන් ප්‍රමාණවත් තරම් මව් කිරි ලැබෙනවා කියලා.

බබා පිටකරන මල පහ ගැන කතා කලහොත් මුලින් ඇලෙන සුළු කළු පැහැති මල පහ තමයි පිට කරන්නෙ.මේකට හේතුව බබා කලලයක් විදිහට ඉද්දි එයාගෙ ආහාර මාරගයේ තිබ්බ ද්‍රව්‍යයක් (Meconium).මේ ද්‍රව්‍ය බබා ඉපදුනාට පස්සෙ මල පහ එක්ක පිටවෙන නිසා තමා මල පහ කළු පැහැයක් ගන්නේ.පස්සෙ මල පහ කොළ පැහැයක් ගන්නවා.තවත් දවස් කිහිපයක් යද්දි මල කහ දුඹුරු පාටට ඒ කියන්නෙ කහ පාටට හැරෙනවා.

මාසයක් වයසැති දරැවෙක් ගොඩක් ක්‍රියාශීලී දරැවෙක් නෙවෙයි.ඒ නිසා දරැවන් එක්ක ලොකු දේවල් අම්මට තාත්තට කරන්න බෑ.නමුත් දරැවගෙ මානසික වර්ධනය වැඩිවෙන්න සමහර දේවල් කරන්න පුළුවන්.දරැවට මූණ ලං කරලා දරැව එක්ක කතා කරන්න පුළුවන්.ඉතිං මේ විදිහට කතා කරද්දි දරැවගෙ කටින් එක එක ශබ්ද පිටවෙනවා නම් ඒවා අනුකරණය කරන්න.මූණ ලං කරලා දිව දික්කරලා කට අරිනවා වගේ දේවල් කරලා දරැවගෙ අවධානය තමන් වෙතට යොමු කර ගන්න.

මේ වෙද්දි බබාට තද පාට හදුනා ගන්න හැකියාව තියෙනවා.ඒ නිසා තද පාට බෝලයක් වගේ දෙයක් ශබ්දයක් ඇහෙන බෝලයක් වගේ දෙයක් දරැවගෙ මූණට ලං කරලා එහා මෙහා ගෙනියන්න පුළුවන්.ඒක දිහා දරැවා බලාගෙන ඉද්දි එයා බෙල්ල හරවද්දි එයාලගෙ බෙල්ලෙ මාංශ පේශි යන්තාක් දුරකට වර්ධනය වෙනවා.මේක ඕනවට වඩා කරන්න එපා එතකොට බබාට වෙහෙසක් දැනෙයි.මේ දේවල් පළවෙනි මාසය ඇතුලත කරාම බබාගෙ මානසික වර්ධනයට රැකුලක් වෙනවා.

දරැවගෙ ප්‍රතිශක්තිකරණය ගැන කතා කලොත් ලංකාවෙ ප්‍රතිශක්තීකරණය වැඩ පිළිවෙලේ දරැවට පළවෙනි මාසය අවසානයේ දී කිසිම එන්නතක් විදින්නෙ නෑ.රෝහලෙන් පිටවෙන්න කලින් බබාට BCG එන්නත ලබා දෙනවා.මෙය විදපු තැන බබාගෙ යම් ප්‍රමාණයක් ඉදිමිලා යම් ප්‍රමාණයක් රතු පාටට තියෙනවා.කාලයක් යද්දි මේ ඉදිමුම බිබිලක් බවට පත්වෙනවා.ඊට පස්සෙ මේ බිබිල පුපුරලා තුවාලයක් මතු වෙලා ඊට පස්සෙ එතන කැලලක් මතුවෙනවා.මාස 6ක් යනතුරුත් කැලලක් මතු වෙන්නෙ නැත්නම් BCG එන්නත 2වෙනි මාත්‍රාවක් එන්නත් කර ගන්න ඕනි.ඒ නිසා BCG එන්නත විදපු තැන ගැන අවධානයෙන් ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *